භාවනා නම් කවරේ ද?

blogs atapirikara lk

“භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා” යනු නිර්වචන හෙයින් යම් චෙතනාවක් කරන කොට ගෙනැ කුශලධර්‍මයෝ වැඩෙත් ද, වැඩිදියුණු වෙද්ද, ඒ චෙතනාව භාවනා නම් වේ.

භාවනා නම් වැඩීම යි, දියුණු කිරීම යි, කුමක් වැඩීම ද? සිත යහපත් අරමුණෙක්හි වැඩීම යි. නොයෙක් අරමුණු ගැනීම් වශයෙන් එහෙ මෙහෙ විසිර යෑම සිතේ සාමාන්‍ය ස්වභාවය යි. එහෙයින් ඉෂ්ටාරම්මණයෙහි ඇලීමත් අනිෂ්ටාරම්මණයෙහි ගැටීමත් ඇති වෙයි. එයින් අකුසල චෙතනා පහළ වෙයි. එසේ එහෙ මෙහෙ විසිර යා නො දී යහපත් අරමුණෙක්හි මැ නැවැත නැවැත ඉපැදැවීම් වශයෙන් බැඳැ තැබීමෙන් සිත ස්ථිර වෙයි. එයින් කුශල චෙතනා බහුල වෙයි. සුළු සුළු කරුණුවල දී ඇලීම් ගැටීම් අඩුවෙයි. එයින් අකුශල චෙතනා ද අඩුවෙයි. තේරුම් ගැනීමේ පහසුව සඳහා ගල්ඔය මහවැවේ වේල්ල ගැන සිතා බලන්න.

ඒ වේල්ල තනා ඇත්තේ වැලිවලිනි, සාමාන්‍යයෙන් වැලි විසිරී තිබෙන විට සුළු වතුර පාරකට ද සේදී යයි. එසේ වූ වැලි රියන අඟලට බසින සේ එහි එහි මැ තද කැරැ ස්ථිර කිරීම නිසා මහවතුර පාරකට ද ගසා ගෙනැ නො යයි. එසේ මැ ඉතා සුළු ඉෂ්ටානිෂ්ට අරමුණෙකැ දී පවා විසිරැ යන සිත මෙසේ එක් මැ අරමුණෙක්හි නැවැත නැවැත ඉපැදීම් වශයෙන් ස්ථිර කැරැ ගත් විට අතිශයින් ඉෂ්ටානිෂ්ට ආරම්මණ යෙකැ දී හෝ විසිරැ යා නොදී රැකැ ගත හැකි වෙයි. එයින් කුශල චේතනා බහුල වෙයි. අකුශල චෙතනා අඩු වෙයි. භාවනාවෙන් කුශලධර්‍ම වැඩේ යැයි කීවේ එහෙයිනි.                                                                                                                                                                                                                      

කවර හෙයින් භාවනා අවශ්‍ය ද?

උත්තාන සත්ත්වයෝ යැ, ගහණ සත්ත්වයෝ යැයි ලොවැ ඇති තාක් දෘශ්‍යමාන සත්ත්වයෝ දෙ කොටසකට බෙදෙති. උත්තාන සත්ත්වයෝ නම් නොසැඟවුණු ප්‍රකට වූ එළිදරවු වූ කෙලෙස් ඇත්තෝ ය. එනම් තිරිසන්නු ය. ගහණ සත්ත්වයෝ නම් සැඟවුණු, වැසුණු අප්‍රකට වූ කෙලෙස් ඇත්තෝ ය. එනම් මනුෂ්‍යයෝ ය, තිරිසන්නු කාමකෝපාදිය ඉවසන්නෝ සඟවන්නෝ නො වෙති. කාමකෝපාදිය ආ විට තැන වේලාව පුද්ගලයා නො බලා පහළ කරන්නෝ ය. මිනිස් රූකඩයෝ ද එබඳු මැ වෙති. නියම මිනිසා කාමකෝපාදිය ආ විට තැන බලයි, වේලාව බලයි, පුද්ගලයා බලයි, ඉවසයි,  සඟවා ගනියි. මෙබඳු උතුම් මිනිස් ගුණ ඇති කැරැ ගත හැක්කේ හිත දියුණු කිරීමෙන් ය. එනම් භාවනාවෙන් ය. එහෙයින් භාවනාව අවශ්‍ය ය.

චපලයෝ යැ, ස්ථිරයෝ යැයි ද මිනිස්සු දෙ කොටසකට බෙදෙති. චපලයෝ නම් ඇස් කන් නැහැ ඈ ඉඳුරන් මඟින් සැලෙන්නෝ ය, කැලැඹෙන්නෝ ය. ස්ථිරයෝ නම් එසේ නොසැලෙන්නෝ ය, නොකැලැඹෙන්නෝ ය. චපලයෝ ප්‍රිය රූපයෙහි ඇලෙති. අප්‍රිය රූපයෙහි ගැටෙති. ප්‍රිය රූපයක් දුටු විට ආසා කෙරෙති. අප්‍රිය රූපයක් දුටුවිට නොසතුටු වෙති. අනෙක් ඉඳුරන්ගේ මඟිනුදු එසේ මැ ය. ස්ථිරයෝ ප්‍රිය රූපයෙහි ඇලීම් ඇතත් අප්‍රිය රූපයෙහි ගැටීම් ඇතත් කලබල නො වෙති. නො කැලැඹෙති. ඇලීම් ගැටීම් එළිදරවු නො කොට ඉවසති. මෙය ද ඉතා උසස් මනුෂ්‍ය ගුණයෙකි. මේ උසස් ගුණය ඇති කැරැ ගත හැක්කේත් භාවනාවෙකින් ඉන්‍ද්‍රියයන් දමනය කැරැ ගැනීමෙනි. එහෙයින් ද භාවනාව අවශ්‍ය ය.‍

ශූරයෝ යැ, වීරයෝ යැ, ධීරයෝ යැයි ද මිනිස්සු තෙ කොටසකට බෙදෙති. ශූරයෝ නම් යම් යම් කාර්‍ය්‍යන්හි දක්ෂයෝ ය, හුරුවූවෝ ය. වීරයෝ නම් බාධා නො බලා පටන් ගත් කාර්‍යය මුඳුන් පත් වනතුරු මැ කරන්නෝ ය. බුහුටියෝ ය. ධීරයෝ නම් සැපත් විපත් ආදී ලෝදහම්හි නොසැලෙන නොකැලැඹෙන නොපෙරැළෙන දිරි ඇත්තෝ ය. මෙකී ගුණත්‍රයය ඇතියෝ මැ උතුම් වෙති. එයිනුදු ධීර ගුණය මැ උතුම් වෙයි. මේ උදාර මනුෂ්‍යගුණය ඇති කැරැ ගත හැක්කේත් භාවනාවෙකින් සිත දියුණු කැරැ ගැනීමෙනි. එහෙයින් ද භාවනාව අවශ්‍ය ය.

භාවිත පුද්ගලයෝ යැ අභාවිත පුද්ගලයෝ යැයි ද මිනිස්සු දෙ කොටසකට බෙදෙති. භාවිත පුද්ගලයෝ නම් වඩන ලද, දියුණු කරන ලද සිත් ඇත්තෝ ය. අභාවිතයෝ නම් නොවඩන ලද සිත් ඇති කුලෑටියෝ ය. කුලෑටියෝ නිතර ම කලබල වූ මුවන් මෙනුදු තැති ගැනුණු කුඩා දරුවන් මෙනුදු ඇවිස්සුණු කලබල වූ ස්වභාව ඇත්තෝ ය. ඔවුන්ගේ කැරුම් කියුම් සිතුම් සියල්ල ම ගොරෝසු ය, දළ දඬු ය. භාවිතයෝ එසේ නො වෙති. තැන්පත් වූ ශාන්ත වූ කැරුම් කියුම් හා සිතුම් ඇත්තෝ ය. අභාවිතයෝ ජනසමාජයට කරදරයෙකි. භාවිතයෝ ජනසමාජයට සැනැසිල්ලෙකි. ඒ භාවිත ගුණය ඇති කැරැගත හැක්කේත් භාවනාවෙකින් ම ය. එහෙයින් ද භාවනාව අවශ්‍ය ය.

වරදවා පිහිටුවන ලද සිත් ඇත්තෝ යැ, මනා කොට පිහිටුවන ලද සිත් ඇත්තෝ යැයි ද මිනිස්සු දෙ කොසකට බෙදෙති. ගල් දෙබෑ කළ හැකි යහුල (යකඩ උල) වුවත් වරදවා පිහිටුවීමෙන් සරසට දැමීමෙන් ගලක් තබා මලක් වත් නො බිඳිය හැකි වෙයි. එමෙන් ම වරදවා පිහිටුවන ලද සිතිනුත් කිසි ද කෙලෙස් බිඳුමක් නොකළ හැකි වෙයි. එහෙත් මනා කොට පිහිටුවන ලද, කෙළින් තබන ලද වී නංඩුව ද අත් පා සිදුරු කිරීමට, පැළීමට තරම් සමර්‍ථ වේ. එමෙන් ම මනා කොට පිහිටුවන ලද සිත ද අවිද්‍යාව බිඳීමටත්, විද්‍යාව (නුවණ) පහළ කිරීමටත්, නිවන් දැකීමටත් සමර්‍ථ වෙයි. එබැවින් මනා කොට පිහිටුවන ලද සිත මැ උතුම් වෙයි. එය ලබා ගත හැක්කේ භාවනාවෙකින් ම ය. එහෙයින් ද  භාවනාව අවශ්‍ය ය.

බෞද්ධයාගේ පරමාධ්‍යාශයය  සසරැ දුකින් නිදහස් වීම ය, නිවන්සුව ලැබීම ය. එය ලැබිය හැක්කේ කෙලෙසුන් නැති කිරීමෙනි. කෙලෙස් නම් හිත පිළිබඳ නරක ගතියි. ඒ නරකගති නැති කළ හැක්කේ හිත දමනය කිරීමෙනි. නොදැමුණු හිත නොදැමුණු කුළුහරකකුට, වල්මදයකුට සමාන ය.

කුළුහරකා කැලයෙන් අල්ලා ගත් දිනයෙහි ඉතා කුලෑටි ය, නොසන්සුන් ය, එහෙත් ඌ දමනය කරන පිළිවෙළක් ඇත. කුළුහරකා හීලෑ කිරීමට සවිය ඇති කඹයෙකින් සවිය ඇති ගසෙකැ නැතහොත් කණුවෙකැ දිගේලි කැරැ – කඹය දිග් ගස්සා – බැන්ද යුතු ය. අනතුරු වැ ක්‍රම දෙකකින් හීලෑ කළ යුතු ය. එක ක්‍රමයක් නම් දැඟැලීමට ඇති නිදහස අඩු වීමට දිනෙන් දින කඹය කොට කිරීම ය. අනෙක කලබල දළ දඬු ගතිය අඩුවීම ට දිනෙන් දින ම කෑම අඩු කිරීම ය. මෙසේ ටික දිනක් යන විට මුරණ්ඩු ගතිය අඩු වේ ම ය. කඹය ටිකෙන් ටික කොට කැරැ ගෙනැ අවුත් ගහට ම ළං කැරැ බැන්ද හැකි වෙයි. එදාට දඟලන්නට පණත් නැත. ඉඩත් නැත. දක්‍ෂ පාලකයා ළං වැ ඇඟ අතගා කෑම දී තමනට උවමනා ලෙසට හීලෑ කැරැ ගනියි.

සිත නමැති කුළු හරකා බඳින කඹය සිහිය යි. බඳින ගස භාවනාව යි. එක් අරමුනෙක්හි සිට පුරුද්දක් නැතියෙන් මහ කැලැඹිලි  ගතියක් ඇති සිත ද මුල් දවසෙහි වැඩි වේලාවක් භාවනාවෙහි නො යෙදිය යුතු ය. නුහුරුකමින් අප්‍රිය විය හැකි හෙයිනි. සිත නමැති කුළුහරකාට කෑම අඩු කිරීම නම් සිත කලඹන රූප ශබ්දාදී ගොදුරු – අරමුණු අඩු කිරීම යි. නිදහස අඩු කිරීම නම් සිතට නොයෙක් අරමුණු ඔස්සේ දුවන්නට ඉඩ නො දී යහපත් අරමුණෙක්හි බැඳැ තැබීම නම් භාවනාව දියුණු කිරීම යි. එනම් භාවනා කරන කාල ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කිරීම යි. මෙසේ කාලයක් භාවනා කිරීමෙන් සිත දමනය කැරැ ගත හැකි වෙයි. කුළුහරකා ගහට ම ළං කැරැ බැඳැ ගත්තාක් මෙන් සිත ද අරමුණට ළං කොට එහි මැ සංසුන් වැ තබා ගත හැකි වෙයි. මෙලෙසින් සිත සංසුන් කිරීම ශමථ භාවනා යැයි කියනු ලැබේ. අනතුරු වැ ශාන්ත වූ කුළු හරකා තමා බලාපොරොත්තු වන කටයුත්තට පුහුණු කැරැ ගන්නාක් මෙන් ශමථ භාවනාවෙකින් සංසුන් වූ සිත තමාගේ බලාපොරොත්තුව වන නිර්‍වාණාවබොධය සඳහා විදර්‍ශනාවට හැරවිය යුතු ය.

කුළුහරකා කැලේ නවතා ගෙනැ මැ දමනය කිරීම අපහසු ය. උපන්දා පටන් සුපුරුදු කුලෑටි ගතියට මැ අනුරූප වූ පරිසරයක් එහි ඇති හෙයිනි. සුදුසු සංසුන් පෙදෙසකට හෝ ගමකට හෝ පමුණුවා දමනය කරත හොත් ඉතා පහසු ය. දමනය කැරැ ගත්තාට පසුව නම් ගමෙත් කැලේත් නොවෙනස් වැ වැඩෙහි යොදා ගත හැකි වෙයි. එසේ මැ භාවනාවෙකින් සිත දමනය කිරීමට ශීලය නම් වූ බිමෙහි පිහිටිය යුතු ය. තමනට අයත් ශීලයෙන් සිල්වත් විය යුතු ය. ගිහි අය නම් පඤ්චශීලයටත් වඩා තපොගුණ යුක්ත අටසිල් ආදී ඉහළ ශීලයෙන් මැ සිල්වත් විය යුතු ය. පන්සිල් වත් නොරකිමින් එක වරට ම උසස් භාවනා කරන්නට යෑම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙළ නොවන බව රථවිනීත සූත්‍රයෙන් දක්වා තිබෙන රථ උපමාවෙන් මැනැවින් මැ පැහැදිලි වෙයි. එහෙයින් භාවනා කරන්නට පිළියෙළ වන්නා පළමු වැ ශීල විශුද්ධියෙන් පිරිසුදු විය යුතු ය. අනතුරු වැ චිත්තවිශුද්ධි නම් වූ සමථ භාවනාවෙකින් සිත සංසුන් කැරැ ගත යුතු ය. දමනය කැරැ ගත් හරකා ගමේ දීත් කැලේ දීත් නොවෙනස් වැ තමන් කැමැති කටයුත්තෙහි යොදා ගත හැක්කාක් මෙන් මැ චිත්ත සමාධියක් ඇති තැනැත්තාට කොහේදිත් විදර්‍ශනා වැඩිය හැකි ය. එයින් නිර්‍වාණාවබොධය ඇතිවේ.

මේ කරුණු ගැන සලකා බලන විට සෑම බෞද්ධයකු විසින් මැ භාවනාවක් කළ යුතු බව මැනැවින් පැහැදිලි වෙයි. එයින් භාවනා නොකරන්නා නියම බෞද්ධයකු නොවන බවත් පැහැදිලි වෙයි. තම පරමාධ්‍යාශය කුමක් දැයි නොදන්නා හෙයින් හා එය ලබනු සඳහා නිසිමඟට නොපිළිපන් හෙයිනි. දන් සිල් බෙලෙන් ලැබිය හැකි සම්පත් අන් සමයයන්හි ද ප්‍රකාශ වෙයි. සමාධි බලයත් එක්තරා ප්‍රමාණයෙකින් ප්‍රකාශ වී ඇතත් නියම ප්‍රඥාවෙන් – විදසුන් නුවණින් – ලැබිය යුතු වූ ශාන්තසුඛය – නිවන – අන් කිසි මැ සමයයෙකැ ප්‍රකාශ වී නැත. බෞද්ධයනට විශේෂ වශයෙන් ලැබී තිබෙන දායාදය නම් නිර්‍වාණය යි. ඒ ගැන නොසිතන්නා නියම බෞද්ධයකු කොට සලකන්නේ කෙසේ දැයි සිතා බැලීම වටී. භාවනාව කොපමණ උසස් වුවත් අවශ්‍ය වුවත් තමන්ගේ පාරමී සම්පූර්‍ණ නැත්නම් මේ ජාතියෙහි යම් කිසි පලයක් නොලැබෙන්නට පිළිවන. එහෙත් අද කරන එක මිනිත්තුවේ භාවනාවත් යම් කිසි දවසෙකැ කෙලෙසුන් නැසීමට උපකාර වෙනුවා ඒකාන්ත ම ය.

භාවනාවෙහි නියම පල ලබන්නට නම් විවේක ස්ථානයෙකැ එයට මැ පේවී එය කළ යුතු ය. ගිහි පින්වතුනට  එබඳු විවේක ස්ථානයක් ලබා ගැනීම ඉතා අමාරු ය. එහෙයින් ගිහි ගෙදර සිට හෝ භාවනා නම් කළ යුතු ම ය. “සම්‍බාධොයං ඝරාවාසො” යන්නෙන් ගිහි ගෙදර සම්‍බාධ යයි බුදුරජාණන් වහන්සේ මැ ප්‍රකාශ කොට තිබෙනුවා නොවේ දැ යි ප්‍රශ්න කළ හැකි ය. ගිහි ගෙවල අපමණ කරදර ඇති බව නොරහසෙකි. කරදරවලින් මිදී විවේක සේනාසනයක් ලබා ගෙනැ භාවනා කරන්නට සිතතොත් එය නොකැරෙන ක්‍රියාවෙකි. මේ ලෝකවාසීනට මැරෙන තෙක් ම කරදරවලින් අඩුවක් නොවන හෙයිනි. මරණින් මතු නැවැත උපදින්නෙත් මේ ලොවැ නිසා ඒ කරදර නැවැතත් ඇති වෙයි. කරදරවලින් මිදෙන්නට නම් මේ ලෝකයෙන් මිදිය යුතු ය, ලෝකෝත්තර විය යුතු ය. ඒ සඳහා භාවනා කළ යුතු ම ය.

එහෙයින්, කෙසේ නමුත් දවසකට මිනිත්තු පහක වත් විවේකයක් ලබා ගෙනැ යම් කිසි භාවනාවක් කළ යුතු බව හැම ගිහි පින්වතුන් විසින් ම සිතිය යුතු ය. පැය විසිහතරක් ඇති දිනයෙකැ පැය විසිතුනකුත් මිනිත්තු පනස් පහක් මැ ලෞකික කටයුතු සඳහා යොදා තමන්ගේ පරමාධ්‍යාශය වූ නිවන් සඳහා මිනිත්තු පහක් වත් යොදා ගත නොහැකි නම් ඒ බෞද්ධකමේ ඇති පලය කුමක් ද? හිමිදිරි පාන්දොර කාටත් වැඩි කරදර නැති වේලාවෙකි. පැය පහක් හයක් විවේක ගැනීමෙන් ඇඟට ද ඉන්‍ද්‍රියනට ද සිතට ද පණ ඇති වේලාවෙකි. එහෙයින් කම්මැළි  කමට ඉර පායන තුරු නිදා නො ගෙනැ උදේ රැයින් ම නැඟිට සුළු වේලාවක් වත් භාවනා කරන්නට කුඩා දරුවා පටන් මහල්ලා තෙක් හැම පින්වතා මැ සිතට ගත යුතු ය.

 අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායකමාහිමිපාණන් වහන්සේ.

Leave a Reply