4. උපේක්‍ෂා – Upeksha

arapirikara articles in sri lanka

උපේක්‍ෂා (Upeksha) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් සිවු වන විහරණය උපේක්‍ෂාවයි. උපේක්‍ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම, අඥාණභාවය ආදිය නිසා ඇතිවන, කිසිම දෙයක් ගණන් නොගෙන සිටීමේ ස්වභාවය නොවේ. ලෝක ස්වභාවය හා ජීවිත ස්වභාවය පිළිබඳ මනා වැටහීමකින් යුතුව, සිතෙහි සමබරතාව පවත්වා ගැනීම අපේක්‍ෂා කෙරේ. සමාජයේ දී දෛනිකව හමුවන විවිධ කරුණු සහ දුක්වන්නන් අනුව දුක්වීමටත්, සතුටට පත්වන්නත් අනුව සතුටුවීමටත් යාම නිසා සිතේ සමබරතාව විනාශ වී යයි. අට ලෝ දහමින් කම්පා නොවී, සෑම අවස්ථාවකදී ම මැදහත් සිතින් යුතුව කටයුතු කිරීම උපේක්ෂාවයි. උපේක්ෂාව වැඩීමෙන් පටිඝය යටපත් වේ.

එක් එක් පුද්ගලයා කෙරෙහි, මෙන්ම එක් එක් වස්තූන් කෙරෙහි ඇති තද ඇල්ම, තද ආශාව නිසාද උපේක්‍ෂා ගුණය විනාශ වේ. එබැවින්, සැමවිටම ඇලීම්, ගැලීම් ගැටුම් අනුරෝධ, විරෝධ නොතකා අවබෝධයෙන් යුතුව, මධ්‍යස්ථ පැවැත්ම දියුණු කර ගැනීම තුළින්, උපේක්‍ෂා ගුණය වර්ධනය කර ගත හැකි වේ. සැමවිටම සමාජයේ සියලුදෙනා එකිනෙකා කෙරෙහි උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කරන්නේ නම් එහි විරුද්ධවාදීන් හෝ ගැටුම් ඇති නොවේ.

බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් සතන් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී පවිටු සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලුබව, පී‍්‍රතිය ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත. ක්‍රෝධයක්, වෛරයක් සිත තුළ ඇති වූ විට මොනතරම් අසහනයක් දැනේද?

උපේක්ෂා භාවනාව වැඩීම

මම ලාභය නිසා සතුටු නොවෙම්වා.
අලාභය නිසා දුක් නොවෙම්වා.
ප්‍රශංසා නිසා සතුටු නොවෙම්වා.
නින්දා නිසා දුක් නොවෙම්වා.
යසස නිසා සතුටු නොවෙම්වා.
අයස නිසා දුක් නොවෙම්වා.
කායික සැපයෙන් සතුටු නොවෙම්වා.
කායික දුකකින් දුක් නොවෙම්වා.
මානසික සැපයෙන් සතුටු නොවෙම්වා.
මානසික දුකකින් දුක් නොවෙම්වා
නිවන් දකිත්වා.

මා මෙන්ම ……………..

Leave a Reply