සතර බ්‍රහ්ම විහරණ

උතුම් පැවැත්ම හෙවත් සතර බ්‍රහ්ම විහරණ සියලු සත්වයන්ට මහත් ආශිර්වාදයක් ගෙනදීමට සමත් බෞද්ධ ඉගැන්වීමකි. බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, ව්‍යාපාදය ආදී අකුසල සිතිවිලි නැති වූ තරමට සැනසීම, සැහැල්ලු බව ළං වේ. ඒවා වැඩි වූ තරමට නොඉවසීම, අතෘප්තිය, අසහනය, කලකිරීම ළඟාවී, විනාශය කරා පිය නගනු ඇත. මහා බ්‍රහ්මයා තුළ ඇති ගුණයන් ලෙස සතර බ්‍රහ්ම විහරණ සතර හැඳින්වේ. එසේ ම බුදුරදුන් තුළ මෙන් ම මවුපියන් තුළද දරුවන් පිළිබඳ මෙම ගුණ ඇති බව දේශනාවේ සඳහන් වේ. සමාජයක්, පවුලක්, රටක් ලෙස යහපත් ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීම උදෙසා සාමයෙන් සමගියෙන් අන්‍යොන්‍ය වුවමනාවන් හැඳින ගෙන ජීවත්වීම සඳහා සතර බ්‍රහ්ම විහරණ ගුණ මහත් පිටුවහලකි. සමගියෙන් එකිනෙකාගේ දියුණුව ඉවසමින් ආශිර්වාදාත්මක දිවියක් ගත කිරීමට මෙමගින් ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ.

මිනිස් දිවිය උසස් තත්ත්වයට පත් කරන, උතුම් ගුණාංග අතර

1. මෙත්තා

2. කරුණා

3. මුදිතා

4. උපේක්‍ෂා

යනුවෙන් හැඳින්වෙන ‘සතර බ්‍රහ්ම විහරණ’ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අන්දම බුදු දහමේ දැක්වේ. ‘බ්‍රහ්ම’ යන්නෙන් ශ්‍රේෂ්ඨ යන අර්ථයද, විහරණ යනුවෙන් වාසය කිරීම, පැවැත්ම යන අර්ථයද ගෙන දෙයි. මේ අනුව ශ්‍රේෂ්ඨ ලෙස (උසස් ලෙස) හැසිරීම උසස් පැවැත්ම බ්‍රහ්ම විහරණයයි. ශ්‍රී ලංකා ජාතික ධජයේ බෝ පත්‍ර සතරකින් නිරූපණය වන්නේ මේ උතුම් ගුණ ධර්ම සතරම වේ. මේ තුළින් පුද්ගලයා සමාජය කෙරෙහි බැලිය යුතු ආකාරයත්, සමාජය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයත් උගන්වයි. මෙම ගුණාංග වර්ධනය කර ගැනීම තුළින් පුද්ගල ශ්‍රේෂ්ඨත්වය උදාවන අන්දම පැහැදිලිවේ. එවගේමේ රටක පාලකයකු තුල අනිවාර්යෙන් තිබිය යුතු වේ.

මෙහි සාකච්ඡා කළ කුමන ප්‍රතිඵලයක් වූවද ලබාගත හැක්කේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව පුද්ගලයාගේ චරිතයෙන් වෙන් කළ නොහැකී අන්දමට චරිතයේම කොටසක් ලෙස සලකා ප්‍රගුණ කිරීමෙනි. ඒවා චරිතය පුරා විහිදී, තදින් සිත තුළ කාවැදුණහොත් පමණි. ස්වකීයත්වයෙන් තොරව, මෙම ශ්‍රේෂ්ඨ ගුණාංග චරිතය පුරා වගා කර ගැනීමට හැක්කේ, මිනිසාට පමණි. මේ අන්දමට, කුඩා කළ සිටම මනස පුරුදු කිරීම තුළින් වර්ධනය වන මානසික ශක්තිය මෙන්ම ආධ්‍යාත්මික දියුණුව ප්‍රබල වේ.

ජීවත්වීමට නම් මෙය දරාගත හැකි විය යුතු ය. හුදකලාව, එක්ටැම් ගෙවල් තුළ කිසිවෙකුට ජීවත්විය නොහැකි ය. සමාජයේ බොහෝ ප්‍රශ්නවලට මුල මිනිසුන් සැම දෙයක් පිළිබඳව එක් කෝණයකින් පමණක් සිතීම නිසා ය. එය ගැටලු ප්‍රශ්න මතු කිරීමට සමත් වේ. ඇතිවන ප්‍රශ්න මෙන් ම ක්‍රියාකාරකම් තුළ උපේක්ෂා සහගත වන්නේ නම් ගැටුම් ප්‍රශ්න අවම වී සාමය සහජීවනය ආරක්ෂා වේ. එසේම මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂා සිතිවිලි සිත තුළ හටගත්විට මොනතරම් සහනයක් දැනේද? මොනතරම් සැපතක් ද? මෙසේ සමස්ත සමාජයම පෙළ ගැසෙන්නේ නම්, ලෝකය මොනතරම් ලස්සන වේද? සිව් බඹ විහරණ පොදුවේ ගත් කළ රටත්, සමාජයත් යහපත් තැනක් කිරීමට මහත්වූ දායකත්වයක් සපයයි. මේ නිසාම සමාජය ජීවත්වීමට සුදුසු තැනක් බවට පත්වේ.

Leave a Reply