බුදුරදුන්ට සිදු කළ මී පැණි පූජාවේ අනුසස්

Honey-offering Festival

මී පැණි පූජාව ඉහළ අග්‍රගණ්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරා උතුමෙක් (ගෞතම බුද්ධ ශාසනයේ මෝඝ රාජ රහතන් වහන්සේ) අත්ථදස්සී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අසිරිමත් ස්තූති පූජාවක් සිදු කළා.

චිත්ත ප්‍රසාදයෙන් සිදු කළ මෙම පූජාව ‘සංසාර ගමන සුවපත්ව ගමන් කරන්නට ලැබේවා’ යන පැතුමෙන් ගොටුවක් සකසා එයට මී පැණි යොදා පූජා කරනු ලැබුවා.

මී පැණි පූජාව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ අහසේම වැඩ සිට දේශනාවක් සිදු කළා. තථාගතයන් වහන්සේට, මහා සංඝයාට චිත්ත ප්‍රසාදයෙන් ස්තූති පූජාවද, මී පැණි පූජාවද සිදු කිරීමෙන් මේ තැනැත්තා කිසිම දවසක දුර්ගතියකට පත් වුණේ නැහැ. දුගී දුප්පත් අසරණ වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක්, මන්ද බුද්ධිකයෙක් වුණේ නැහැ. මේ තැනැත්තා මී පැණි පූජා කිරීමේ පිනෙන් වාර දාහතරක් දෙව් ලොව රජක සක්‍ර භවනේද, වාර අටසියයක් පොළොවට රජකමද, වාර පන්සියයක් සක්විති රජකමද, ප්‍රදේශයේ කුඩා රාජ්‍ය ගම්වල නායකත්වයද ලැබුවා.

මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, විඳ අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි, මෝඝ රාජ නම් රහතන් වහන්සේ නමක් වන බවද, ත්‍රිවිද්‍යාවෙන් අග තැන්පත්ව ශාන්ත ලක්ෂණ නිවනට පත් වන බවද එදා අත්ථදස්සී බුදුන් වහන්සේ වදාළා. එසේනම්, මී පැණි පූජාව කෙතරම් ඉහළ පූජාවක්ද යනුවෙන් සිතන්න. දඹදිව රාජ්‍ය කළ ධර්මාශෝක අධිරාජ්‍යතුමාටද දඹදිව අග්‍ර රජ බවට පත් වෙන්නට හේතු වුණේ මී පැණි පූජාව යි.

පිරිිසිදු සිත ඉතා වැදගත්

පරිනිර්වාණයට පත් වුණු ලොව්තුරා බුදුන් වහන්සේ නමකට හෝ ජීවමාන බුදුන් වහන්සේ නමකට මී පැණි පූජාව සිදු කිරීමෙන් සංසාර ගමන කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ.

සෑම දෙනාම උක් පැණි පූජාවක්, මී පැණි පූජාවක්, කිතුල් පැණි පූජාවක් වැනි මිහිරි දෙයක් පූජා කළ යුතු යි. එය සිත, ගත නිවා සනසන පූජාවක් වෙනවා. ඒ පූජාවම සංසාර ගමන සුවපත් වීමට හේතු වනවා. කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ. එලෙස කල්පනාවෙන් මේ ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවක් යනුවෙන් සිතාගෙන ගෞරවයෙන්, ප්‍රණීතයෙන් පූජා කළ යුතු යි.

‘අධිවාසේ තුනොභන්තෙ මධුපාණිතං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං’ යනුවෙන් පූජාකළ යුතුයි. මී පැණි ‘මධුපාණිතං’ යනුවෙන් හඳුන්වනවා. එය බොහොම වාසනාවන්ත, ප්‍රණීතම පූජාවක්.

තමන්ගේ ජීවිතයට මිහිරි දෙය ලබන්න, ප්‍රණීත දෙයක් ලබන්න, හේතු භූත වන්නේ ප්‍රණීත දෙයක් පූජා කිරීමයි. එය මී පැණි පූජාවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුද්ධාදී උතුමන්ට මෙවැනි පූජාවක් සිදු කිරීම කෙතරම් අගේ ඇති වටිනා පූජාවක් වෙනවාද? ගෞතම බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ සිටි වඳුරෙකුත් මී පැණි පූජාවක් සිදු කළා. එය ඒ සතාට වුවද කෙතරම් සැප විපාක වන්නට ඇතිද? ඒ නිසා මී පැණි පූජා කිරීම තිරිසන් ගත සතාට වුවද තමාගේ සිත අනුව විපාක වැඩි වෙයි. සිත පිරිසුදු නම් එහි ආනිසංස වැඩි වෙයි. මහත්ඵල මහානිසංස ලැබේ.

Leave a Reply