කය වචනය දෙකෙහි සංවරය සීලයයි. එනම් කායික හා වාචසික වශයෙන් අයහපත් ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවල යෙදීමයි. නරක වචන කථා නොකර හොඳ වචන කථා කිරීමයි. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිච්චාචාරය යන අකුසලයන්ගෙන් වැලකීම කායික සීල සංවරයයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම යන වචනයෙන් සිදු කරන අකුසලයන්ගෙන් වැළකීම වාචසික සීලයයි.
තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් හෝ නිවන හෝ පතා රක්නා වූ පවත්නා වූ තෘෂ්ණා, දෘෂ්ටි මානයන් ගෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව සීලය ආරක්ෂා කිරීම සීල පාරමිතා නම් වේ.
“මේ ශීලයෙන් අනාගතයේ සිටුවරයෙක් හෝ රජෙක් හෝ දෙවියෙක් හෝ වෙමි”යි භවභෝග සම්පත් පතා රක්නා වූ පවත්වන්නා වූ තෘෂ්ණා නිශ්රිත වූ තෘෂ්ණාවෙන් තැලී දුබල වූ සීලය පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ. සත්ත්වයා ඒකාන්තයෙන් ශුද්ධියට පමුණුවන්නා වූ විදර්ශනා ධ්‍යාන මාර්ගයන් නො තකා සීලය ම විශුද්ධියට පැමිණීමේ මාර්ගය යි වරදවා ගෙන රක්නා වූ – දෘෂ්ටි නිශ්රිත වූ – දෘෂ්ටියෙන් තැළී දුබල වූ සීලය ද පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ.
සීලය කරණකොට තමා උසස් කොට ද අනුන් පහත් කොට ද සිතන්නා වූ පුද්ගලයාගේ මාන නිශ්රිත වූ මානයෙන් තළා දුබල කරන ලද්දා වූ සීලය ද පාරමිතා සංඛ්‍යාවට නො පැමිණේ.
බෝසතාණන් වහන්සේ විසින් සීල පාරමිතාවද පියවර තුනකින් සම්පූර්ණ කරන ලදී. එනම්,
1. තම බාහිර වස්තු විනාශ වුවද සීලය කඩ නොකිරීම (සීල පාරමී)
2.තම ශරීර අවයව විනාශ වුවද සීලය කඩ නොකිරීම (සීල උපපාරමී)
3.තම ජීවිතය විනාශ වුවද සීලය කඩ නොකිරීම (සීල පරමත්ථ පාරමී)
අප මහ බෝසතාණෝ සීල පාරමිතාව පිරෑ ආකාරය “සීල විමංසා” දී ජාතක කථාවලින් පැහැදිලි වේ.
සිල්වත් තැනැත්තා පවින් චැළකී හෙතෙම අනුන්ගේ ජීවිත ආරක්ෂා කරයී, දේපළ ආරක්ෂ කරයි, අනුන්ගේ ජීවිත වලට හා දේපළ වලට ගරු කරයි, වැරදි කාමයෙහි නොයෙදේ, කේලම් කියමින් හිස් වචන වලින් අනුන් නොරවටයි, රළු වචන වලින් අනුන්ට පීඩා නොකරයි, ප්‍රියවාදී වෙයි, මධ්‍යසාර භාවිතයෙන් වලකී. මෙසේ සිල්වතා සමාජයේ සෙසු අයට හානි නොකරන බැවින් හෙතෙම සමාජය තුල බියෙන් සැකෙන් තොරව ජීවත් වෙයි. කල්‍යාණ මිත්‍ර ඇසුර ලබයි.
මේ පාරමිතාවෙහි “සීලය”යි කියනුයේ ඒ ආර්‍ය්‍ය සීලයට ය. ඒ ආර්‍ය්‍ය සීලය බොහෝ අංග ඇති විශාල සීලයෙකි. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දානයෙන් වැළකීම, මෛථුනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරා පානයෙන් වැළකීම යනාදිය ඒ ආර්‍ය්‍ය සීලයේ අංගයෝ ය. තම තමන්ට හැකි පමණින් ඒ ආර්‍ය්‍ය සීලාංගයන් අනුව පිළිපැදීම සිල් රැකීමය. මේ ඉතා පහසු ක්‍රමයකින් සීලය හැඳින්වීමකි. කය – වචන දෙකට අකුසල ක්‍රියා විෂයෙහි හැසිරෙන්නට නො දී ඒ දෙක මනා කොට තබන බව, ආරක්ෂා කරන බව හා කුසල ධර්මයන්ට ආධාර වන බව සීලයේ ලක්ෂණයෝ ය. සිල් රක්නා කල්හි කය වචන දෙකින් අකුසල් කරන්නට අවසර නො ලැබේ. එබැවින් සීලය කය – වචනය දෙක මනා කොට තබන – ආරක්ෂා කරන ධර්මයෙකි. එය කය – වචන දෙකට ආරක්ෂකයකු වැනිය. සීලයෙහි පිහිටි තැනැත්තා කෙරෙහි සකල කුසලයෝ ම ඇති වෙති. වැඩෙති. එබැවින් සීලය කුසලයනට ආධාර ස්ථානයකි. සරු බිමෙකි. සීලයේ විස්තර විශුද්ධිමාර්ගාදියෙන් දත යුතුය.