වෙසක් පොහොය

wesak pohoya

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා. වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් ඇති බව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවීම

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි.
එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි. 

සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම 

සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දැකීමෙන් පසුව ලෝකවාසීන් දුකින් මුදාගැනීම සඳහා ගිහිගෙය හැර ගියා. සිද්ධාර්ථ කුමාරයා එලෙස දුටු සතර පෙරනිමිති වලින් ව්‍යාධි රූපය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දී යි.

යමා මහා පෙළහර පෑම 

බුදුවීමෙන් පසු ප්‍රථම වරට උපන් ගම වුණු කිඹුල්වත් පුරයට වැඩම කර යමාමහ පෙළහර පෑම.

ආනන්ද හිමියන් පිරිනිවන් පෑම 

විසිපස් වසරක් පුරාවට ම අප සම්බුදු සමිඳාණන් හට ආදරයෙන් උපස්ථාන කළේ ආනන්ද තෙරුන් වහන්සේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු උන්වහන්සේ අරහත්වයට පත්වූ සේක. ප‍්‍රථම ධර්ම සංගායනාවෙන් පසු තවත් හතළිස් වසරක් ම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩ සිටි සේක. උපතින් වයස එකසිය විස්සක් ගෙවුනු තැන ආනන්ද මහ රහතන් වහන්සේ රෝහිණී නදිය ඉහළ අහසේ වැඩහිඳ පෙළහර පා දහම් දෙසා සිරුරේ ධාතු දෙකොටසකට සමව බෙදේවා යි අදිටන් කොට තේජෝ සමාපත්තියෙන් පිරිනිවන් පෑ සේක. ඒ වෙසක් පුන් පොහෝ දිනයකයි.

දුටුගැමුණු රජු විසින් ස්වර්ණමාලි මහාසෑ කර්මාන්තයට වැඩ ඇරඹීම ද වෙසක් පෝ දිනයක සිදුවිය. 

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වර්ෂ අටකට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළනියට වැඩම කළේ වෙසක් පොහොය දිනයක දී යි. එදිනම සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම. 

දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.

කිසාගෝතමී දේවිය විසින් “නිබ්බුතා නූන සා මාතා”යන නිබ්බුත පද පැවසීම.

පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත්සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.

මෙලෙසින් මේ උතුම් වෙසක් පෝ දිනය ශාසනික වශයෙනුත්, ජාතික වශයෙනුත් අනුස්මරණීය සිදුවීම් රැසකට මුල් වූ දිනයෙකි. එහෙයින් තෙරුවන් සරණ ගිය අප හට උතුම් තෙමඟුල සිහි කරන වෙසක් පොහොය දිනය අරුත්බර කර ගැනුමට සිහි තබා ගනිමු.

Leave a Reply