ජීවිතය හා ලෝකය පිළිබඳ ඇති තතු හෙවත් යතා තත්ත්වය වටහා ගැනීම ප්‍රඥාවයි. නිවන් සොයා යන බෝසත්වරු මෙය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කරති. ලෞකික, ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව දෙවැදෑරුම් වේ. එදිනෙදා කටයුතු වලදී අවශ්‍ය වන්නේ ලෞකික ප්‍රඥාවයි. සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. ප්‍රඥාව දියුණු කර ගන්නා ක්‍රම තුනකි.
- සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම චිත්තා මය ප්‍රඥාවයි.
- බුද්ධිමතුන්ට සවන් දීමෙන්, පොත පත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම සුතමය ප්‍රඥාවයි.
- භාවනාවෙන් නුවණ ලබා ගැනීම භාවනාමය ප්‍රඥාවයි.
මෙම තෙවදෑරුම් ක්‍රමයන්ගෙන්ම නුවණ දියුණු කර ගෙන ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කිරීමට බෝධිසත්වයන් වහන්සේලා ක්‍රියා කරති. ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේලා තෙවදෑරුම් ආකාරයකින් ක්‍රියා කරයි.
- සියලු භෞතික වස්තු කෙරේ බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පාරමී ලෙස ද
- ශරීරාංග ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා උපපාරමී ලෙස ද
- ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පරමත්ථ පාරමී ලෙස ද හැදීන්වේ.
නාම රූපයන්ගේ හෙවත් ස්කන්ධාදි ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දක්නා ඥානය ප්‍රඥා පාරමිතාව ය. අනිත්‍ය ලක්ෂණය දුඃඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන තුන නාම රූප සියල්ලේ ම ලක්ෂණ බැවින් ඒවා සාමාන්‍ය ලක්ෂණයෝ ය. අභිධර්මය උගෙනීමෙන් නාම රූප ධර්මයන්ගේ ලක්ෂණ දන්නා ඥානය ඇති කර ගත හැකි ය. සත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍රවණාදිය ද ප්‍රඥාව ලැබීමේ හේතු ය.