නෙක්ඛම්ම පාරමිතාව

nekkamma paramithawa

පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාවෙන් ඉවත් වීමේ ප්‍රතිපදාව නෙක්ඛම්ම පාරමිතාවයි. ඇස, කන, නාසයථ දිව හා ශරීරය පිනවීමට අපි ආශා කරමු. ඒවාට ගිජු වීම නිසා විවිධ කරදර වලට, අසහනයට භාජනය වීමට සිදු වේ. එකී පස්කම් සුව අත් නොහැර නිවන් දැකීමට නොහැකිය. එබැවින් නිවන් අරමුණු කර ගත් බෝසත්වරු කම්සුවයෙන් නික්මෙති, බැහැර වෙති. එසේ බෝසත්වරුන් නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කරන පිළිවෙතක් ඇත. පළමු කොට නිවැරදිව හා අන් අයට හිරිහැරයක් නොවන පරිදි ඇස කන ආදී පසිඳුරන් පිනවන ඔවුහු දෙවනුව ඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව ගැන කල්පනා කරති. තාවකාලිකව විඳින සැප ගැනද ඒ වෙනුවෙන් වෙහෙසෙන ආකාරය ගැනද සිහිපත් කරති. එයින් සිදු වන්නේ පසිඳුරන් පිනවීම කෙරෙහි පවත්නා ආශාව ශූන්‍ය වීමයි. පස්කම් සැපතින් ඉවත් වීමේ කල්පනාව හෙවත් නෙක්ඛම්ම සංකප්ප ඇති වන්නේ එවිටයි.

නෙක්ඛම්ම පාරමිතාව පුරන බෝසත් උතුමෝ ත්‍රිවිධ ආකාරයකින් ඔය පූරණය කරති.තම බාහිර වස්තු,

1.අඹු දරුවන් අත් හැරීම නෙක්ඛම්ම පාරමිතාවයි.

2.ශරීර අවයව නැති වුවත් කාමයන්ගෙන් වෙන්වී සිටීම නෙක්ඛම්ම උපපාරමිතාවයි.

3.ජීවිතයට හානියක් වුවද කම් සැප නොවිදීම නෙක්ඛම්ම පරමත්ථ පාරමිතාවයි.

අප මහ බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පූරණය කළ ආකාරය මඛාදේව ජාතකයෙන් පැහැදිලි වේ.

සත්ත්වයා යම්තාක් කාමයන්හි හා භවයෙහි ඇලී වෙසේ ද එතෙක් හේ දුකෙහි ය. ඔහුට දුකින් මිදිය හැකි වන්නේ ඒ ලෝභය නැති කිරීමෙනි. ආර්‍ය්‍ය සත්‍යයන් නො දක්නා වූ සත්ත්වයාට ඉතා ම හොඳ දෙය සැටියට ද ඉතා ම උසස් දෙය සැටියට ද, තමාට ඇත්තා වූ උසස් පිහිට සැටියට ද පෙනෙන්නේ කාම භවය ය. එබැවින් කාම තෘෂ්ණාව සත්ත්වයන් කෙරෙහි අනාදිමත් කාලයක පටන් වැඩී මුල් බැස තහවුරු වී තිබේ. යම්කිසි හේතුවකින් තමා ඇලුම් කරන කාමයන් හා භවය නැති වන්නට එන සේ පෙනෙනවා නම් සත්ත්වයාට එයට වඩා නපුරක් භයක් නැත. තණ්හාව කොතරම් දුකට හේතුවක් වුවත් කාම භවයන් අතහැරීමට සත්ත්වයා කැමති නැත. එබැවින් ආර්‍ය්‍ය තත්ත්වයන් නො දක්නා සත්ත්වයාට ඒවා අතහැරීම ඉතා දුෂ්කර ය.

තරමක් දුරටවත් එය කළ හැකි වීමට නෙක්ඛම්ම පාරමිතාව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය උගෙන ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. ප්‍රත්‍යවේක්ෂා කිරීම යනු සිතීමය. කාමයන්හි ආස්වාදය හා ආදීනව දෙක ම ඇත්තේය. කාමයන් ගේ ආස්වාදය නම් ඒවා නිසා ඒ ඒ වේලාවෙහි ලැබෙන ක්ෂණික සුවය හා ප්‍රීතිය ය. ආදීනවය නම් ඒවා නිසා ඇති වන දුක හා දොම්නස ය. කාමයන් හැර දැමිය නො හෙන්නේ ද, කාමාසාව දුරු කළ නො හෙන්නේ ද සත්ත්වයන් විසින් ඒවායේ ආදීනව පක්ෂය නො සිතා ආස්වාද පක්ෂය ගැන ම සිතන බැවිනි. කාමයන්හි ආස්වාදාදීනව දෙක ම ඇතත් සත්ත්වයනට වඩා පෙනෙන්නේ ඔවුන් පතන සොයන ආස්වාද පක්ෂය පමණෙකි. මහත්ව ඇත්තා වූ කාමාදීනවය ඔවුහු නො දකිති.

විෂ මිශ්‍ර කේක් කැබෙල්ලෙහි මෙන් කාමයන්හි ද නපුර ඇත්තේ නො පෙනෙන ලෙස ය. මතු වී ඇත්තේ මිහිර ය. එද සත්ත්වයනට කාමාදීනවය නො දැකිය හැකි වීමේ එක් හේතුවකි. තථාගතයන් වහන්සේ ගේ ධර්මය ඇසුරු කිරීමෙන් කාමයන්හි යට වී ඇති මහාදීනවය දැකිය හැකි ය. කාමාදීනවයන් මතු කොට පෙන්වන ධර්ම, පිටකත්‍රයේ බොහෝ තැන්වල ඇත්තේ ය. ඒවාට අනුව කාමයන් ගේ හා භවයේ ආදීනවය මෙතැන් පටන් දක්වනු ලැබේ. තෘෂ්ණාව දුරු කර ගත හැකි වීමට ඒවා මතක තබා ගෙන නැවත නැවත සිතනු. නෙක්ඛම්ම පාරමිතාව පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂාව එයයි.

මිනිසකු ගිනි අඟුරු වළකට ඇද දැමුව හොත් මහ දුකට පත් වන්නාක් මෙන් කාම වස්තූන් අයත් කර ගෙන එහි ඇලී ගැලී සිටින තැනැත්තාට ඒවා නිසා මහදුක් පැමිණෙන්නේ ය. එබැවින් කාම වස්තූහු ගිනි අඟුරු වලවල් බඳුය හ.

රාත්‍රියෙහි ලස්සන ගෙවල් උයන් ආදිය සිහිනයෙන් දුටු තැනැත්තා අවදි වී බලන කල්හි ඒ සිහිනයෙන් දුටු කිසිවක් නො දක්නේ ය. එමෙන් බොහෝ කාම වස්තූන් රැස් කර ගෙන සිටින තැනැත්තා ඒවා නැතිවීමෙන් හෝ මිය පරලොව යෑමෙන් හෝ පසු, ඒ කාම වස්තූන්ගෙන් කිසිවක් නො දක්නේය. කිසිවක් ඔහුට නැත්තේ ය. කාම වස්තූන් නිසා ලබන්නා වූ සුවය ද එකෙණෙහි ම මිස පසුව නැත්තේ ය. එබැවින් කාම වස්තූහු හා කාම සුවය සිහිනයක් බඳු ය.

වටිනා රථයක් හා ඇඳුම් කට්ටලයක් අනුන්ගෙන් ඉල්ලා ගෙන ගමනක් ගියා වූ තැනැත්තාට ඒවා පරිභෝග කරන්නට ලැබෙන්නේ ඒ දවසේ පමණකි. පසුව ඒවා හිමියන්ට බාර දෙන්නට සිදු වේ. එමෙන් කාම වස්තූන් අයත් කර ගෙන සිටින්නාට පරිභෝග කරන්නටත් ලැබෙන්නේ මඳ කලකි. එබැවින් කාම වස්තූහු අනුන්ගෙන් මඳ කලකට ඉල්ලා ගත් වස්තු වැනිය හ.

මහ වන මැද හිමියකු නැති පලින් බර වූ ගසෙකි. පුරුෂයෙක් එය දැක එයට නැග ගෙඩි කන්නට පටන් ගත්තේ ය. පොරවක් ගෙන වනයෙහි හැසිරෙන මිනිසෙක් ද ඒ ගස දුටුවේ ය. හේ “මම ගස් යන්නට නො දනිමි. මේ ගස කපා බිම හෙලා ගෙඩි කමි” යි ගස කපන්නට පටන් ගත්තේ ය. එසේ කරන කල්හි ගසේ සිටින පුරුෂයා ගෙඩි වලට ලෝභයෙන් එහි ම සිටිය හොත් මරණයට හෝ පැමිණෙන්නේ ය. මැරෙන තරමේ දුකට හෝ පැමිණෙන්නේ ය. එමෙන් කාමයන් නො හැර අල්ලා ගෙන, අයත් කර ගෙන සිටියහොත් එයින් මහ දුකට පත් වන්නේ ය. එබැවින් කාමයෝ ගෙඩි ඇති ගසක් වැනිය හ.

කාමයන් අයත් කර ගෙන සිටින තැනැත්තා ද, සොයන තැනැත්තා ද යන දෙදෙනා ම නොයෙක් විට නොයෙක් වධ බන්ධනවලට අසුව දුකට පත් වෙති. අයත් කර ගෙන සිටින තැනැත්තා හා සොයන තැනැත්තා ඒ නිසා නොයෙක් විට ගැහුම් – බැණුම් – කැපුම් – කෙටුම්වලට හසුවන බැවින් කාම වස්තූහු මස් කපන කොටයක් හා කඩුවක් වැනියහ.

කාමයන් සොයන තැනැත්තා හා අයත් කරගෙන සිටින තැනැත්තා ඒ නිසා නොයෙක් විට පහර ලබන බැවින් කාමයෝ උල්පිහියා වැනිය හ. කාමාශාව ඇතියහුට කාම වස්තු නැති බව ද මහ දුකෙකි. සෙවීම ද දුකෙකි. ලැබූ පසු ආරක්‍ෂා කිරීම ද දුකෙකි. ලැබූ වස්තූන් දිරායාම, පරණ වී යාම, නැති වීම, සොරු ගැනීම, පරිභෝගයෙන් විනාශ වී යාම යන මේ සියල්ල ම දුක් ය. මුල මැද අග යන හැම තැනදී ම ඒවාට ඇලුම් කරන පුද්ගලයා දවන බැවින් තවන බැවින් කාමයෝ ගිනි කඳක් වැනිය හ.

කාමයන්ගේ ආදීනව ඉතා බොහෝ ය. දක්වන ලදුයේ බිඳකි. කියන ලද පරිදි කාමයන් ගේ ආදීනවය මෙනෙහි කිරීමෙන් නෙක්ඛම්මට සිත නැමේ. “සම්බාධො ඝරාවාසො ජරාපථො අබ්භොකාසො පබ්බජ්ජා” යනුවෙන් දැක්වෙන පරිදි “ගිහි ගෙය බොහෝ කරදර ඇති බැවින් අවහිර තැනක පිනට ඉඩ නැති තැනක මහණකම ගැටෙන – බැඳෙන තැන් නො වන බැවින් අන් කිසිවක් නැති අහස වැනි ය යනාදීන් ගිහි ගෙයි ආදීනවය මෙනෙහි කිරීමෙන් පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාවෙන් ඉවත් විය හැකිය.

Leave a Reply