තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ තම අයිතිය අත්හැර අපේෂාවකින් තොරව දීම දානයයි. තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්ම වලින් යුක්ත අයට පරිත්‍යාග කිරීීම පූජා බුද්ධියෙන් දෙන දානයයි. කෙනෙකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන්, අනුකම්පාවෙන් යමක් පරිත්‍යාග කිරීම අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානයයි.
දානය පාරමිතාවක් වීමට නම් තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් එය සිදු කළ යුතු යි. දාන වස්තුව කෙරෙහි ලෝභය මඳකුදු ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතුය. දන් දෙන්නා අනෙක් අයට වඩා කැපී පෙනීමේ අදහස් ඇතිව හෝ තම වත්පොහොසත් කම පෙන්වීම සඳහා හෝ දීමේ දී එම දානයට මානය පදනම්ව ඇත. එසේම දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සම්පත් ලබා ගැනීමේ ආශාව පෙරදැරි කර ගෙන දීමෙන් තෘෂ්ණාව වැඩි දියුණුවේ.
භාවනාදී අනෙක් ගුණ දහම් නොසලකා හැර දානයෙන් පමණක් විමුක්තිය ලබා ගත හැකිය යන අදහස මතදන් දීම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව සිදු කරන්නකි. දන් දීමේදී අයහපත් සිතුවිලි වලින් තොරව මෛත්‍රී සිතුවිලි ඇති කර ගත යුතුය. දානයෙන් හොද විපාක ඇති බව හා එයින් තමන්ට යහපතක් වන බව සිතා මෝහයෙන්ද ඈත් වී නුවණින් යුක්තව දන් දෙන විට අලෝභාදී කුසල සිතුවිලි වර්ධනය වේ.
දානය පාරමිතාවක් වශයෙන් පූරණය කරන උතුමෝ එය,
1. දාන පාරමිතා වශයෙන් තමන්ගේ භෞතික වස්තු දන් දීමෙන්,
2. දාන පාරමිතා වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීමෙන්,
3. දාන පාරමිතා වශයෙන් තමන්ගේ ශරීරය දන් දීමෙන්,
යන ත්‍රිවිධාකාරයෙන් මෙම ගුණධර්මය ටිකෙන් ටික දියුණු කර ගනිති. මෙය සමාජගත ජීවිතයකටද වැදගත් වන බැවින් සියලු දෙනා මෙම ගුණධර්මය පුරුදු පුහුණු කිරීම ඉතා ප්රයෝජනවත්ය.
පර්ත්යාගශීලී වීම අප ජීවිතයට එක් කර ගත යුතු ගුණධර්මයකි. දන් දීමෙන් අපට මෙම ගුණධර්මය ප්‍රගුණ කර ගත හැකිය. ලෝභයෙන්, ද්වේශයෙන් තොරව මෛත්‍රී සහගත සිතුවිලි වර්ධනය කර ගැනීමට දානය උපකාරී වේ. අසරණ අයෙකුට පිහිට වීමෙන් ඔහු එම තත්ත්වයෙන් මුදා ගත හැකිය. විෂය කරුණු, අවශ්‍ය පොත පත හුවමාරු කර ගනිමින් අධ්‍යපනයෙහි නිරත වීමෙන් ද මෛත්‍රී සිතුවිලි වර්ධනය වේ. මිහිරි පලතුරක් හෝ ආහාරයක් අනුභව කරන විට බෙදා හදා ගැනීම අප සතුව වැඩිපුර ඇති ඇඳුම් පැළඳුම් ආදිය නැති බැරි කෙනෙකුට පරිත්‍යාග කිරීම ආදිය වැනි කටයුතු මඟින් දාන ප්‍රතිපදාව පිරිය හැකිය.