සුචි ජාතකය (ඉඳිකටුවේ කථාව)

suchi jathakaya

අතීතයේ එක් කාලයක බෝධිසත්වයන් වහන්සේ, බොහෝ වෙහෙසකර වූ වෘත්තීයක් වූ ‍යකඩ වැඩ කරන්නා වූ ගම්මානයක උප්පත්තිය ලැබූ සේක. එම පවුලක ඉපිද වැඩිවියටද පැමිණ සේක. ඒ බරණැස් නුවර රජ කලේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන්ය. මේ කම්මල් වැඩ කරන්න්නා වූ ගම්මානය බරණැස් නුවරින් ඈත පිටිසරව පිහිටා තිබුණු ගමක් විය. තවද ඒ ගමට ලඟ, කම්හල් රැකියාව කරන්නා වූ කම්මල් කරුවන් දහසක් වාසය කරන ගමක් ඇත. ඔවුන්ට නායක වූ ආචාරී කෙනෙක්ද සිටියි.

ඒ නායක කම්මල් අචාරීයන්, ඉතා දක්ෂය, රජුගේ සිත් ගෙන කටයුතු කරයි. එමෙන්ම ඔහුට විශිෂ්ටවූ රුවක් ඇති දුවක් ඇත්තේය. නොයෙක් ගම්වලින් කැති, පොරෝ, හා නොයෙක් යකඩ භාණ්ඩ කරවා ගන්නට පැමිණි මනුෂ්‍යයෝ ඒ ආචාරීන්ගේ දියණියන්ගේ රූප සොබාව දැක, ඒ රුව ගැන බොහෝ වර්ණනා කරයි. නැවත තම තමන් සිටිනා ගම් කරා ගොස් ඇයගේ රුපයම වර්ණනා කරයි.

suchi jathakaya

එසේ එක් මනුෂ්‍යයෙක් අයගේ රුපය වර්ණනා කරන්නා වූ වෙලාවක, අප බෝධිසත්වයන්ටද ඇගේ රූ වර්ණනාව අසන්නට ලැබුණි.

වෙන කිසි තරුණියකට සිත නොබැදුනත් …. “මෙතරම් රුව ඇති තරුණියකගේ වර්ණනාව” ඇසු පමණින් ඇය ගැන සිතක් පහල විය. ඇය දැක බලා ගන්නටද සිතුනි. කෙසේ හෝ තම ප්‍රඤාව මෙහෙයවා, උපක්‍රමයකින් ඇය විවාහ කරගන්නටද සිතුනි. (සංසාරයේ කල්ප ගණන් තම පාරමිතාවන්ට උර දෙමින් පැමිණෙන්නා වූ ඒ එකම ස්ත්‍රී රත්නය ගැන කන වැකුණු සැනින්, සිත බැදීම නම් අරුමයක් නම් නොවේ)

මේ වන විට, බෝසතාණන් වහන්සේද සාමාන්‍ය කම්මල් හැකියාව අභිබවා තම ශිල්පයේ කෙලවරට පැමිණ සිටියේය. එම තරුණිය පාවා ගැනීමට සිතා, ඉතා කදිම වුත්, සියුම් වුත්, සිනිදු වුත්, තියුණු වූත් එක් ඉදිකටුවක් මනා කොට නිමවා, එහි හිලක්ද විද, ඒ ඉදිකටුව දැමීමට ඉදිකටුව මෙන්ම ඒ අකාරයෙන් හැඩ “කොපු හතක්” සදා ඉදිකටුවද, කොපුවෙන් කොපුව ඇතුලේ දමා ගත්තේය. එයද ගෙන කම්මල් කරුවන් දහසක් ඉන්නා ඒ ගමට ගොස් නායක අචාරිගේ නිවස අසාගෙන ඒ ගෙදරටම ගිය සේක.

බෝසතානන් වහන්සේ ඒ ගෙයි මිදුලේ සිට මෙසේ කීහ ,

   “වැලිගලේ ගා ඉතා මට සිළුටු වූ……… සියුම් මුවහතක් ඇති……… සෘජුවූ……… යහපත්වූ…….. ඉදිකටුවක් විකිණීමට ඇත. ඒ ඇරගනුව”යි.

එවෙලේ නායක කම්මල් අචාරින් දහවල් අහාරය ගෙන නින්දක හුන්නේය. ඔහුගේ දුව පියාට තල් පතකින් පවන් සලමින් උන්නාය. බෝධිසත්වයෝ “ඉඳිකටු ඇරගණුව”යි කියන හඩ ඇසෙන විටම ඇයට දැනුනේ සිසිල් පැන් කළ ගණනාවක් හිස මුදුනේ සිට වක්කරන්නක් මෙනි. (කල්ප ගණනාවක් තිස්සේ ඒ මහා වීර්ය පුරුෂයාම පතමින්, ඔහුගේ උතුම් පාරමිතාවන්ට අනුබල දෙමින් ඔහු වෙනුවෙන්ම කැපවූ, ඔහුම පමණක් පැතූ ඇයට, මදුර වූ ත් ගාම්භිර වුත් ඒ ආදරණිය කටහඩ කන වැකුණු මොහොතේ ඇයට දැනුනු චිත්ත සන්තෝෂය ගැන මෙසේ උපමාවකින් නම් කිව නොහැකියැයි සිතමි.)

ගෙතුළ සිටියදී, ඔහුගේ හඩ පමණක් ඇසූ ඇය, එසේ චිත්ත සන්තෝෂයෙන් යුක්තව ඔහුව දැකීමටත් උවමනාවක් ඇති විය.

ඈ තල් පත බිමතබා බෝධිසත්වයන් ඉන්නා මිදුලට දිසාවට ගියාය.ගොස් ඔහුව දැක මෙසේ කීවාය.

   “අයියණ්ඩිය…..

මේ ගමේ යකඩ වැඩ කරන්නා වූ පවුල් දහසක් වාසය කරන්නේය. ඉදින් මේ ගමේ කැති පොරෝ ආදි වූ දෙය හා බිලි කටු, ඉඳිකටු, ආදි වූ දෙය හා විශේෂ වූ ආයුධ ඇත. එසේ තිබෙද්දිත් ඔබ ඉදිකට්ටක් ගෙන දහවල් වන තුරු ඇවිද්දත් මේ ගමේ කිසිවෙකු ඔය ඉදිකට්ට නම් ගන්නේ නැත.

මුළු දඹදිව පුරා විකුනන්නෙත් මේ ගමේ යකඩ මයි. එනිසා ඔබගේ ඉදිකටුවත් ගෙනගොස් වෙන ඈත ගමකදී විකුණා ගනුව”

   “නැගණියනි……

මා කල නිර්මාණයේ වටිනාකම හා එය සැදීමට වූ මහන්සිය දන්නේ මේ ශිල්පය ගැන හොදින් දන්නා කෙනෙක්මය. තොපගේ පියාණන්ටනම් එය හොදින් වැටහේවි. තොපගේ පියාණෝ මා කළ මේ නිර්මාණය දුටුවේ නම්, තොපත් මට පාවාදී, මේ ගෙයි සියලු සම්පතුත් මට දෙන්නේය” යි කීහ.

මේ සියළු කථා, ගේ තුල හිදි අචාරියානන් අසාගෙන සිට……

“දියණියනි…..

මාගේ දුව පාවා ගෙන යන්නට විමසන්නේ කවුරුන්ද?

කවුරුන් සමග තොප කථාකරන්නේ? “යයි විචාළකල්හි ඒ කුමාරිකා කියන්නී

   “පියාණනි……

එක්තරා තරුණයෙක් ‘ඉදිකටුවක්’ ගෙනවිත්, ඉදිකටුව ඇරගනුවයි කිය කියා සිටින්නේ ය”යි කීවාය , ඒ අසා කම්මල් නායක තැනැත්තා,

   “ඔහුට ගෙට එන්නට කියව.”යි කියා කිවේය.

බෝධිසත්වයෝ ද එතනට පැමිණ පළමුව කම්මල් නායකයාට වැඳ ගරු සරු දක්වා සිටියහ.

   “තරුණය…… නුබ කවුරුද?”

   “මම අසවල් ගමේ, කම්මල් කරුගේ පුත්‍රයා වේ”

   “හොදයි….. නුබ මෙහි කුමක් සදහා පැමිණියේද? “

   “මා මනා ඉඳිකටුවක් සැදුවෙමි. එය පෙන්වීමට ගෙන ආවෙමි”

   “නුබ ඉදිකළ ඉදිකටුව ගෙණව” යි කී කල්හි බෝධිසත්වයෝ ඉදිකටුව ගෙන 

   “මේ ගමේ ඉන්නා සියළු කම්මල් ශිල්පින් එක්වූ විට එය පෙන්වමි. තනිව නොපෙන්වමි.” කිහ.

කම්මල් නායකයාණන්ගේ පණිවුඩයකින් එහි සිටි දහසක් කම්මල් කරුවන් හා ඒ ඒ පවුල්වල අයවලුන් එක්රැස් වූ පසු, බෝසතනන්වහන්සේ ආචාරීන් අතට කොපු වලින් වසා තිබු ඉදිකටුව දුන්නේය. (ඉදිකටුව දමා ඇති කොපු සත පවා ඉදි කටුව සේම මනා කොට නිමවා ඇති නිසා බලනා කෙනෙක්ට එය ඉදිකට්ටක් සේ පෙනේ)

   “මේකද? තොප නිපදවූයැයි කියන මහගු ඉදිකටුව?”යි විචාළාහ.

   “එසේය…… නමුත් ,ඔය ඉදිකට්ට නොවේ.ඉදිකටුව ඇත්තේ ඔය කොපුව ඇතුලේ ය”යි කීහ.

කම්මල් නායකයා කොපුව විවෘත්ත කරන්නට උත්සහා කොට ඉදිකටුව අතට ගැනීමට තියා කොපුව විවෘත්ත කරගන්නට නොහැකි විය.

බෝධිසත්වයෝ එය ඉල්ලාගෙන, කොපුවෙන් කොපුව සියුම් ලෙස විවෘත්ත කොට කොපු හත නායකයාණන් ඉදිරියේ තබා ඉදිකටුව ඔහු අතට දුන්හ.

කෙතරම් සියුම් ලෙස හා මනා ලෙස එය නිමවා ඇතිදැයි දුටු ඒ දහසක් කම්මල් ශිල්පීන් අත් ඔසවා අත්පොලසන් දී, බොහෝ සිවුරු හඩ නංවා, බොහෝ සතුටු වුහ.

“පුත්‍රය……..

බොහෝ අගනේය….බොහෝ අගනේය…. ඔබගේ නිර්මාණය ඉතා සියුම්ය. මනා ලෙස නිමවා ඇත. ඉතින් මෙහි ශක්තිය කෙසේද? අනෙක් ඉදි කටු වලට අමතරව තවත් විශේෂයක් තිබේද?”

“මේ ඉදිකටුවේ විශේෂත්වය පෙන්වීමට මා හට කිණිහිරක් හා ලෝහ ජල භාජනයක් අවශ්‍ය වේ”

බෝධිසත්වයෝ ඉදිකටුව කිණිහිරක් උඩ තබා කුළු ගෙඩියකින් ගසන්නට උපදෙස් දුන්නේය. එවිට කිණිහිර පලාගෙන ගිය ඉදිකටුව, ජල භාජනයේ පෙන මත ඉපෙල්ලිමින් තිබුණේය. (එම සාස්ත්‍රයේ කෙල පැමිණි උත්තමයකුගේ අරුම පුදුම ශිල්පිය හැකියාව අල්ප වූ අප දැනුමෙන් විනිශ්චය නොකළ යුතුය, එහි දෘඩ භාවය හා සැහැල්ලු භාවය යන ලක්ශන ඉස්මතුවේ.) 

එවිට කම්මල් නායකයාණන් හා අනෙක් ශිල්පින් දහසක් දෙනා පෙර පරිදිම බොහෝ අත්පොලසන් දී බොහෝ සිවුරු හඩ නංවා බොහෝ චිත්ත සන්තෝෂව බොහෝ ඝෝෂා නැගුහ.

තම දියණිය පාවා දීමට සුදුසුම තැනැත්තා මේ තරුණයා බව නායක අචාරින්ට වැටහිණි. එසේම අසාමාන්‍ය රුපයක් ඇති තම දියණියන් ඔහුට පාවා දුන්නේය. තමන්ගේ බොහෝ සම්පතුත් පවරා දුන්නේය.

ඒ කම්මල් නායකයාණන් ටික කලකින් මිය ගියහ. බෝධිසත්වයෝ ඒ කම්මල් ශිල්පින් දහසට නායක වුහ.

Leave a Reply